රටේ සංවර්ධනයට දායකත්වයක් සපයන අයනීකාරක විකිරණ

පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත්කිරීමට තරම් ශක්තියක් ඇති එනම් පරමාණුවක් අයනීකරණයට ලක් කළ හැකි සියලුම විකිරණ අයනීකාරක විකිරණ ලෙස හැඳින්විය හැකිය. විද්‍යුත් චුම්භක තරංග හා අංශුමය වශයෙන් හැසිරෙන ලෙස අයනීකාරක විකිරණ වර්ග කර දැක්විය හැකිය. එනම් පාරජම්බූල විකිරණ වල ශක්තියට වඩා ඉහළ ශක්තියක් ඇති විද්‍යුත් චුම්භක තරංගයන් වන වන ගැමා කිරණ, එක්ස් කිරණ හා අස්ථායි සමස්ථානික වලින් නිකුත් වන අධිශක්ති ඇල්ෆා, බීටා හා නියුට්‍රෝන යන අංශූන් සියල්ල අයනීකාරක විකිරණ වලට අයත් වේ. වර්තමානයේදී අයනීකාරක විකිරණ; වෛද්‍ය විද්‍යාත්මක, කර්මාන්ත, කෘෂිකර්ම, පුරාවිද්‍යා, විද්‍යාත්මක පර්යේෂණ සංවර්ධන කටයුතු යනාදි ක්ෂේත්‍ර ගණනාවක භාවිත කරයි.

වෛද්‍ය විද්‍යාවේදී එක්ස් කිරණ (X – Ray), මැමෝග්‍රැෆි, CT ස්කෑන් සහ විකිරණ ප්‍රතිකාර සඳහා අයනීකාරක විකිරණ යොදා ගනී. වෛද්‍යවරුන් විකිරණශීලි සමස්ථානික භාවිත කරමින් රෝග විනිශ්චය කරනු ලබයි. රෝග විනිශ්චය සදහා අයනීකාරක විකිරණ භාවිතය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක.
ඉන් පළමුවැනි කොටස වනුයේ, රෝග ලක්ෂණ පෙන්වන රෝගියකු ගේ රෝගීමය තත්වයක් හඳුනා ගැනීම ය. දෙවැනි කොටස වනුයේ රෝග තත්වයන් නොපෙන්වන පුද්ගලයන් තුළ සැගවුණු රෝගී තත්වයන් හදුනාගැනීම ය.
එමෙන්ම, කොබෝල්ට්‌-60 සමස්‌ථානිකය මඟින් නිපදවන ගැමා කිරණ, මෙන්ම රේඛීය ත්වරක මගින් නිපදවන අධි ශක්ති ඉලෙක්ට්‍රෝන ධාරා ආදිය පිළිකා තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබයි.
ජීවානුහරණය කිරීම සඳහා අයනීකාරක විකිරණ භාවිත කරන අතර වරක් පමණක් භාවිතයට ගන්නා ශල්‍ය වෛද්‍ය උපකරණ ජීවානුහරණය කිරීම මෙමඟින් සිදු කරයි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය මඟින් කොබෝල්ට් 60 භාවිත කර ශල්‍ය අත්වැසුම් ජීවානුහරණය කිරීම දැක්විය හැකිය. විවිධ ආහාර වර්ග කල් තබා ගැනීම සඳහා ගැමා කිරණ, එක්ස් කිරණ හා අධි ශක්ති ඉලෙක්ට්‍රෝන භාවිත කරයි. එමෙන්ම, ඵලදාව වැඩි උසස් බෝග ප්‍රභේද නිර්මාණය කිරීම හෙවත් විකෘති අභිජනනය සඳහා අයනීකාරක විකිරණ භාවිතා කරයි. විකිරණ යොදා ගෙන කෘමීන් වඳ කිරීමේ ක්‍රමය Sterile Insect Technique (SIT) ලෙස හැඳින්වේ. මේ ක්‍රමය මදුරුවන් පාලනය කිරීමට භාවිතා කරනු ලබයි. එම ක්‍රියාවලයේ දී විශාල ප්‍රමාණයෙන් පිරිමි මදුරුවන් විද්‍යාගාර තුළ අභිජනනය කොට, ගැමා කිරණ භාවිතයෙන් එම පිරිමි මදුරුවන් වඳභාවයට පත් කිරීම සිදු කෙරෙයි. ඉන් අනතුරුව මේ නිසරු පිරිමි කෘමීන්, කෘමි ගහනය පාලනය කළ යුතු පරිසරයට මුදාහැරීම සිදු කරයි.
කර්මාන්තශාලා, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, පාලම්, ගුවන් යානා, නැව්, බොයිලේරු සහ විදුලි බලාගාර යනාදියෙහි ප්‍රමිතිය පරීක්ෂා කිරීම මඟින් සිදු විය හැකි අනතුරු වළක්වාගෙන ඵලදායිතාව වර්ධනය කිරීමට හා ආරක්ෂාව තහවුරු කිරීමට, අයනීකාරක විකිරණ භාවිතයෙන් කරනු ලබන නිර්විනාශක පරීක්ෂණ ක්‍රම (NDT) වැදගත් වේ. මෙහිදී යොදා ගැනෙන ප්‍රධාන නිර්විනාශක පරීක්ෂණ ක්‍රමයක් ලෙස විකිරණ රේඛ පරික්ෂාව (Radiographic Testing) දැක්විය හැකිය. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය වර්තමානය වන විට අයනීකාරක විකිරණ පරීක්ෂාවන් මඟින් නිර්විනාශක පරීක්ෂණ සේවාවන් සැපයීමට මූලිකත්වය ගෙන කටයුතු සිදුකරයි..
අයනීකාරක විකිරණ සතු ශක්තිය මගින් බහු අවයවික දාම වෙනස් කර ගුණාත්මක බවින් යුත භාන්ඩ හා ද්‍රව්‍ය නිශ්පාදනය සදහා විවිධ පර්යේෂණ හරහා දායත්වය සපයනු ලබයි. තවද, පුරාවිද්‍යාවේදී වසර ගණනාවක් පැරණි පොසිල කොටස් වල ආයු කාලය නිර්ණය කිරීමටද පුරාවස්තු සංරක්ෂණය සඳහාද අයනීකරණ විකිරණ තාක්ෂණය යොදාගනු ලබයි.
මේ ආකාරයට , අයනීකාරක විකිරණ තාක්ෂණය අප රටේ තවත් බොහෝ විෂය ක්ෂේත්‍රයන්හි තාක්ෂණික කටයුතු සඳහා යොදා ගන්නා අතර එමගින් රටේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් සපයනු ලබයි.මනාව 
අයනීකාරන විකිරණ හා ඉන් සිදුවිය හැකි හානි පිලිබඳව සමාජයේ අනියත බියක් පැවතියද ආරක්ෂාව හා සුරක්ෂාව පෙරදැරිව එම තාක්ෂණයේ ඉහලම ප්‍රතිලාභ මහජනතාව වෙත ලබාදීමට ශ්‍රී ලංකා පරමාණුක බලක්ති මණ්ඩලය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.