ශ්‍රී ලංකා නාවික හා සමුද්‍රීය ඇකඩමි නිලධාරීන්ගේ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩල අධ්‍යන චාරිකාව

ශ්‍රී ලංකාවේ නාවික හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ ඇකඩමියක් වන ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රීය ඇකඩමියෙහි පුහුණුව ලබන (NMA) නාවික නිලධාරීන් පිරිසක්,  2023.01.26 වන දින ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි අධ්‍යන චාරිකාවක නිරත වූ අතර, ඒ සඳහා නාවික හා සමුද්‍රීය ඇකඩමියෙහි තරුණ ශිෂ්‍ය නිලධාරීන් 17 ක්ද, උපදේශක නිලධාරීන් 04 ක්ද සහභාගී විය.

නාවික නිලධාරීන් ලෙස, ඔවුන්ගේ වෘත්තීය විෂය පථයට අදාළව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබෙන විෂයානුබද්ධ ආයතන අධ්‍යනය තුළින් දැනුම හා අවබෝධය ලබා ගන්නා අතර, මෙම අධ්‍යන චාරිකාවෙහි අරමුණ වූයේ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පිළිබඳව ඔවුන්ගේ දැනුම හා අවබෝධය දියුණු කර ගැනීමයි.

මෙහිදී, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි ඉතිහාසය, සපයනු ලබන සේවාවන් මෙන්ම, ගැමා මධ්‍යස්ථානය හා නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය පිළිබඳව හැඳින්වීමක් නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියංග රත්නායක මහතා සහ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිරාශා රත්නවීර මහත්මිය විසින් සිදු කරන ලදී.

ඉන් අනතුරුව ජෛව විද්‍යාත්මක අංශයෙහි විද්‍යාගාර හා විකිරණ ආරක්ෂණ සේවා අංශයෙහි ද්ව්තීයික සම්මත විකිරණමිතික විද්‍යාගාරය අධ්‍යනය හා විද්‍යාගාර ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක්ද සිදු කරන ලදී. එමෙන්ම, මෙම නිලධාරීන් සඳහා අත්‍යාවශ්‍ය වන න්‍යෂ්ටික සුරක්ෂිතතාවය හා න්‍යෂ්ටික හදිසි ආපදා තත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද ප්‍රයෝගික ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් පැහැදිළි කර දෙන ලදී.

න්‍යෂ්ටික තාක්ෂණයේ උන්නතිය උදෙසා කැපවී සිටින ශ්‍රී ලංකාවේ එකම තාක්ෂණික සහාය ආයතනය වන  ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි අධ්‍යන චාරිකාවක නිරත වී විෂය දැනුම පුළුල් කර ගැනීමට ඔබත් අදහස් කරන්නේ නම්, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි අධ්‍යක්ෂක ජෙනරාල් වෙත ඉල්ලීමක් සිදු කර එම අවස්ථාව උදා කර ගත හැකි අතර, මෙවැනි වැඩසටහන් ඔබ වෙනුවෙන් සිදු කිරීම අපගේ අපේක්ෂාවයි.