බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මැතිතුමා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙයි.

ජාතියේ න්‍යෂ්ටික තාක්ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. වත්මන් ආණ්ඩුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මැතිතුමා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ කටයුතු නිරීක්ෂණය සඳහා 2025-03.27 වන දින  ආයතනය වෙත පැමිණියේය.

එම අවස්ථාවට සහභාගී වෙමින් ආයතනයේ සේවකයන් වෙත ගරු  අමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියේ වත්මන් රජයේ දැක්ම අනුව යමින් ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරලීම සඳහා  න්‍යෂ්ටික තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගත යුතු  බවත්,  ඒ සඳහා වන  ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳව  අවධානය යොමු කළ යුතු බවයි. එමෙන්ම රාජ්‍ය අනුග්‍රහය මෙන්ම  ආයතනයේ සියලු දෙනාගේ කැපවීම, සහයෝගීත්වය, එකමුතුකම වර්ධනය කර ගනිමින් ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි බව එතුමා ප්‍රකාශ කරන ලදී.

ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක මැතිතුමිය ප්‍රමුඛ ඉහළ කළමනාකාරීත්වය හා සේවකයන් සමඟ දීර්ඝ වශයෙන් එතුමා සාකච්ඡා කරන ලදී. ඉන් අනතුරුව ආයතනයේ ප්‍රධාන විද්‍යාගාර වල කටයුතු නිරීක්ෂණයටද  එතුමා එක්විය.

ඔරුගොඩවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලය හා න්‍යෂ්ටික විශ්ලේෂණ විද්‍යාගාර නිරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අයත් කැලණිය බුළුගහ හන්දියේ පිහිටි නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය හා බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය වෙතද ගොස් එම ආයතන හා විද්‍යාගාර නිරීක්ෂණය කල අතර සේවකයන් සමඟ අදහස් හුවමාරු කරගන්නා ලදී.

එමෙන්ම පවත්නා සේවක හිඟය ඇතුළු ගැටළු වලට විසඳුම් ලබා දෙන බවට ප්‍රකාශ කල ගරු අමාත්‍යවරයා පවත්නා සේවාවන් වැඩිදියුණු කරමින් කාර්යක්ෂම සේවාවක් මහජනතාව හා දේශීය ව්‍යාපාරික ප්‍රජාව වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.  මෙලෙස සම්පූර්ණ රාජකාරි දිනයක කාලයක් ගත කරමින් ආයතනය පිළිබඳව සොයා බැලීම සම්බන්ධව ආයතනයේ සේවකයන් සිය ප්‍රසාදය එතුමා වෙත පුදකර සිටින ලදී.