ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පිහිටුවන ලද්දේ 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත යටතේය. 1969 අංක 19 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරි පනත අවලංගු කරමින්, 2015 ජනවාරි 01 වන දින සිට බලාත්මක වන පරිදි පරමාණුක බලශක්ති මණ්ඩලය පිහිටුවන ලදී. නව පනත යටතේ  ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව යන ආයතන දෙක පිහිටුවන ලදී. සමාජ ආර්ථික  සංවර්ධන ප්‍රයන්තයන් සදහා න්‍යෂ්ටික විද්‍යාව  හා තාක්ෂණයේ සාමකාමී යෙදීම්  ප්‍රවර්ධනය හා පහසුකම් සැලසීමේ වගකීම ශ්‍රී  ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වෙත පවරා ඇති අතර, නියාමන කටයුතු සදහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව කටයුතු කරයි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සිය අරමුණු ඉටු කර ගැනීම සදහා අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික නිපුණතා ලබා ගනිමින් සිය කාර්යන් ඉටු කරමින් සිටී. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සතු  අනිවාර්ය කාර්යන් ඉටු කිරීමට කැපවීමෙන් ක්‍රියා කරන අතරම තාක්ෂණික ක්ෂේත්‍රයන්හි සහයෝගිතාවය ඉහළ නැංවීම, ගුණාත්මක ඉහළ නැංවීම  උදෙසා  තාක්ෂණික සම්බන්ධීකරණ පහසුකම් සපයනු ලබයි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ප්‍රධාන අරමුණු :

  • න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යොදාගැනීම් ප්‍රවර්ධනය කිරීම, දිරිගැන්වීම සහ එම තාක්ෂණය උපයෝගී කරගෙන සේවා සැපයීම.
  • ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීමේ කාර්ය සඳහා න්‍යෂ්ටික විද්‍යාව සහ න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යොදාගැනීම් සම්බන්ධ පර්යේෂණ පැවැත්වීම.
  • න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යොදාගැනීම්වල ප්‍රවේසම් සහිත බව, සුරක්ෂිත බව සහ ගුණාත්වය තහවුරු කිරීම සඳහා වූ නව ක්‍රමෝපක්‍රම ප්‍රවර්ධනය කිරීම සහ ඒවාට ආධාර කිරීම.
  • න්‍යෂ්ටික යොදාගැනීම් සම්බන්ධයෙන් වන නියාමන අවශ්‍යතා ඉටුකිරීම පිණිස විකිරණ ආරක්ෂාව සඳහා වන සේවා සැපයීම.
  • වාණිජ හෝ වෙනත් කාර්යන් සඳහා අයනීකාරක විකිරණ සහ අනුපූරක තාක්ෂණයන් සම්බන්ධිත ක්‍රියාකාරකම් වල නිරත වීම.=