න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ කෙටියෙන්…

න්‍යෂ්ටික හා විකිරණශීලී ශිල්ප ක්‍රම භාවිත කරමින් රෝග විනිශ්චය කර, නිවැරදි නිගමනයන්ට එළඹ, ප්‍රතිකාර ලබා දීම න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවෙන් සිදු කෙරෙන ප්‍රධානතම කාර්යය වේ.

වෛද්‍ය විද්‍යාවේදී  එක්ස් කිරණ චායාරූපකරණය, මැමෝග්‍රැෆි, CT ස්කෑන් සහ විකිරණ ප්‍රතිකාර සඳහා අයනීකාරක විකිරණ යොදා ගනී. වෛද්‍යවරුන්  විකිරණශීලී සමස්ථානික භාවිත කරමින් රෝග විනිශ්චය කරනු ලබයි. එමෙන්ම, කොබෝල්ට් – 60 සමස්ථානිකය මඟින් නිපදවන  ගැමා කිරණ, අධි ශක්ති ඉලෙක්ට්‍රෝන ධාරා ආදිය පිළිකා තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබයි.

සමස්තයක් ලෙස, විකිරණශීලී සමස්ථානික භාවිත කරමින් පිළිකා වර්ග, හදවත් රෝග, ආමාශ රෝග, ස්නායු රෝග හඳුනා ගැනීම සිදු වේ.

වර්තමානය වන විට  න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමගම  ප්‍රායෝගික භාවිතය පුළුල් වී ඇත.  ඒ අනුව හදවතෙහි රුධිර ප්‍රවාහය නිරීක්ෂණය කිරීම, හෘදයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම, කිරීටක ධමනි රෝග හඳුනා ගැනීම, පෙනහළු වල රුධිර ප්‍රවාහ ගැටළු සහ ශ්වසන ආබාධ හඳුනා ගැනීම, අස්ථි බිඳීමක්, ආසාදනයක් හෝ ආතරයිටිස් හඳුනා ගැනීම, අස්ථි පිළිකා හඳුනාගැනීමට,  මොළය ආශ්‍රිත අසාමාන්‍යතා හා රුධිර ප්‍රවාහ ගැටළු විමර්ශනය, මොළයේ අසාමාන්‍යතා හඳුනාගැනීමට, පියයුරු පිළිකා හඳුනා ගැනීමට, චර්ම පිළිකා ඇති රෝගීන්ගේ ශල්‍යකර්මයන්ට පෙර වසා ගැටිති හඳුනා ගැනීමට, අග්න්‍යාශ  පිළිකා හඳුනාගැනීමට, මුත්‍රාශයේ අවහිරතා හඳුනා ගැනීමට ආදී වශයෙන් රෝග විනිශ්චයන්  සඳහා සුලභව න්‍යෂ්ටික හා විකිරණශීලී ක්‍රමශිල්ප භාවිත කරනු ලබයි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයද නොයෙකුත් ව්‍යාපෘති ඔස්සේ මෙකී න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාත්මක යෙදීම් රට තුල ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙයි.