ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ඉතිහාසයේ සටහන් කල සුවිශේෂී මං සලකුණු

පරමාණුක බලශක්ති අධිකාරිය පිහිටුවීමේ පුරෝගාමියා වන්නේ 1957 දී ශ්‍රී ලංකා රජයේ සැලසුම් සභාව යටතේ පිහිටුවන ලද පරමාණුක බලශක්තිය පිළිබද උප කමිටුවයි. එම වසර තුළම ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ආරම්භක සම්ජිකයකු බවට පත් විය. 1950 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විශේෂයන්ගේ උපදෙස් මත කොළඹ විශ්ව විද්‍යාලයේ විකිරණශීලි සමස්ථානික මධ්‍යස්ථානය 1962 දී ආරම්භ කරන ලදී.

1969 අංක 19 දරන පරමාණුක බලශක්ති පනත මගින් පරමාණුක බලශක්ති අධිකාරිය 1969 දී පිහිටුවන ලදී. පරමාණුක බලශක්ති අධිකාරියේ පළමු සභාපතිවරයා වූයේ අභාවප්‍රාප්ත මහාචාර්ය පී.පී.ජී.එල්. සිරිවර්ධන මහතා වන අතර ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසත් විකිරණශීලී සමස්ථානික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළේය. ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන මහතා  1979 සිට 1989 දක්වා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර මහාචාර්ය සිරිවර්ධන මහතාගෙන් පසුව එතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ විකිරණශීලී සමස්ථානික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කළේය. මෙම විසි වසරක කාලය තුළ විකිරණ ආරක්ෂණ, නිර්විනාශක පරීක්ෂණ, න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, XRF විශ්ලේෂණ ක්‍රම, ආහාර ප්‍රවිකිරණය, විකිරණ මගින් රබර් වල්කනයිස්කරණය හා න්‍යෂ්ටික ඉලෙක්ට්‍රොනික විද්‍යාව යන ක්ෂේත්‍ර වල විශේෂඥතාවයන් දැක්වූ විද්‍යාත්මක නිළධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත  කාර්ය මණ්ඩල සාමාජිකයින් 35 දෙනෙකුගෙන් යුත් සංවිධානයක් දක්වා පරමාණුක බලශක්ති අධිකාරිය වර්ධනය විය.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවෙහිදී පවා පරමාණුක බලශක්ති අධිකාරිය සතුව තමන් සතු  රසායනාගාර පහසුකම් නොතිබූ අතර අවිධිමත් පදනමක් මත විකිරණශීලී සමස්ථානික මධ්‍යස්ථානයේ ඇති පහසුකම් පරමාණුක බලශක්ති අධිකාරිය  විසින් භාවිතා කරන ලදී. විද්‍යාත්මක කාර්ය මණ්ඩලයේ හැකියාවන් හා සසඳන විට පරමාණුක බලශක්ති අධිකාරිය සම්බන්ධ වූ ක්ෂේත්‍ර ගණන ඉතා සීමිත වීම එවකට මුහුණ දුන් තවත් ප්‍රධාන අඩුපාඩුවක් විය.

වසර 25 ක පමණ සේවා කාලයකින් පසු ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සේවාවෙන් විශ්‍රාම ගත් ආචාර්ය ඩග්ලස් නෙත්සිංහ මහතා 1989 දී පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ධුරයට පත් විය. ඔහු පරමාණුක බලශක්ති අධිකාරියෙහි කාර්ය මණ්ඩල / කළමනාකරණ සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ අතර පරමාණුක බලශක්ති අධිකාරිය වෙත නව මඟ පෙන්වීමක් ලබා දුන්නේය. පරමාණුක බලශක්ති අධිකාරිය සඳහා රසායනාගාර පහසුකම් ඇති කිරීම සඳහා ස්ථිර තීරණයක් ගත් අතර ආයතනයේ  අනාගත සංවර්ධනය සඳහා සවිස්තර ආයතනික සැලැස්මක් සකස් කරන ලදී. 1989 දී රුපියල් 4000 ක් වූ පරමාණුක බලශක්ති අධිකාරිය විසින් උපයන ලද ආදායම පුද්ගලික හේතුන් මත ආචාර්ය නෙත්සිංහ මහතා  1992 දී ඉල්ලා අස්වන විට  වන විට රුපියල්  730,000 ක් දක්වා ඉහළ නංවා තිබුණි

ආචාර්ය එම්. ප්‍රිනාත් ඩයස්  මහතා 1992 දී සභාපතිවරයා ලෙස පත් කරන ලද අතර ආචාර්ය නෙත්සිංහ මහතා  විසින් ආරම්භ කරන ලද පරමාණුක බලශක්ති අධිකාරියෙහි සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියටම ගෙනයන ලදී. පරමාණුක බලශක්ති අධිකාරිය සඳහා කාර්යාලයක් සහ රසායනාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රජයෙන් අරමුදල් ලබා ගත් අතර, නව අංශ 5 ක් නිර්මාණය කිරීමෙන් පරමාණුක බලශක්ති අධිකාරියෙහි ආයතනික ව්‍යුහය වැඩිදියුණු කරන ලද අතර විද්‍යාත්මක වැඩසටහන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරන ලදී. 2001 වන විට පරමාණුක බලශක්ති අධිකාරිය විසින් උපයන ලද ආදායම රුපියල් මිලියන 6 දක්වා ඉහළ ගියේය. කාර්ය මණ්ඩලය 70 ක්  පමණ වූ අතර ඉන් 30 දෙනෙකු විද්‍යාත්මක හා තාක්ෂණික පිරිස් විය.

පරමාණුක බලශක්ති අධිකාරියට මුහුණ දීමට සිදුවුණු ප්‍රබල ගැටළුවක් වුයේ සිය කටයුතු පවත්වාගෙන යාමට ස්ථිර නිවහනක් නොමැති වීමයි. එම නිසා අධිකාරිය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරවා ගැනීමට විවිධ ප්‍රයත්නයන් දරන ලදී. එවකට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සේවක වෘතීය සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ නිමල්සිරි සොයිසා මහතා විසින් එවක විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු බර්නාර්ඩ් සොයිසා අමාත්‍ය තුමා ගෙන් ආයතනය වෙත ස්ථිර නිවහනක් ගොඩ නගා දෙනමෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණු අතර 2001 වර්ෂයේදී පරමාණුක බලශක්ති අධිකාරිය වෙනුවෙන් විද්‍යාගාර හා කාර්යාල පරිශ්‍රයක් ඔරුගොඩවත්තේ පිහිටුවනු ලැබීය.

මෙම  නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2001 දී අවසන් කරන ලද අතර විකිරණ සේවකයින්ගේ බාහිර නිරාවරණ විකිරණ මාත්‍රා මිතිය,  න්‍යෂ්ටික ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රමාංකනය හා නඩත්තු කිරීම, නිර්විනාශක පරීක්ෂණ, විකිරණ පිරිසැකසුම්, ගැමා වර්ණාවලීක්ෂ විශ්ලේෂණය, එක්ස් කිරණ ප්‍රතිදීප්ත විශ්ලේෂණය  හා  න්‍යෂ්ටික අන්වේක්ෂණ (nuclear tracer) යෙදුම් සඳහා රසායනාගාර පහසුකම් ස්ථාපිත කරන ලදී.

2002 අගෝස්තු 26 වන දින ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා විසින් පරමාණුක බලශක්ති අධිකාරියේ  නව ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කරන ලදී. පර්යේෂණ හා සංවර්ධන අරමුණු සඳහා 2003 දී පරමාණුක බලශක්ති අධිකාරිය හට IAEA වෙතින් ගැමා ප්‍රවිකිරණ (gamma cell)  උපකරණයක්  ලැබුණි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) හි නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ, කලාපීය සම්බන්ධීකාරක ලෙස මහාචාර්ය එම්. ප්‍රිනාත් ඩයස් පත් කරන ලද අතර ඔහු පරමාණුක බලශක්ති අධිකාරියේ  සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

මහාචාර්ය ආර්. හේවාමාන්න මහත්මිය 2003 මැයි මාසයේදී පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී. IAEA වෙතින් ලැබුණු ගැමා ප්‍රවිකිරණ (gamma cell) උපකරණය ස්ථාපනය කරන ලද අතර බහුකාර්ය ගැමා ප්‍රවිකිරකයක් පිහිටුවීමේ යෝජනාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලදී. 2004 වර්ෂයේදී රජය මේ සඳහා රුපියල් මිලියන 102 ක් වෙන් කළේය.

2004 නොවැම්බරයේදී මහාචාර්ය හේවාමාන්න මහත්මිය  ඉල්ලා අස් වූ අතර මහාචාර්ය බී.එම්.ඒ. ඔස්වින් පෙරේරා මහතා  2006 මාර්තු 6 වන දින නව සභාපති ධුරයට පත්විය. ඔහුගේ පාලන කාලය තුළ පරමාණුක බලශක්ති අධිකාරියෙහි න්‍යෂ්ටික විශ්ලේෂණ විද්‍යාගාරය, ආහාර හා පස් සඳහා ගැමා වර්ණාවලීක්ෂ විශ්ලේෂණය සඳහා ජාතික ප්‍රතීතනය ලබා ගත්තේය. මහාචාර්ය බී.එම්.ඒ. ඔස්වින් පෙරේරා 2007 මාර්තු මාසයේදී ඉල්ලා අස්විය.

1956  – පරමාණුක බලශක්තිය පිළිබඳ තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායමක් ජාතික සැලසුම් සභාව විසින් පත් කිරීම


1957 – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ආරම්භක සාමාජිකත්වය ලබා ගැනීම.


1958 – න්‍යෂ්ටික තාක්ෂණ වැඩසටහනක් සංවර්ධනය කිරීම පිළිබඳව රජයට උපදෙස් දීම සඳහා IAEA විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණීම.


1961 –  ඉහත  විශේෂඥ කණ්ඩායමේ නිර්දේශ මත මහාචාර්ය පී.පී.ජී.එල් සිරිවර්ධන මහතාගේ අධ්‍යක්ෂකත්වය යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ විකිරණශීලී සමස්ථානික මධ්‍යස්ථානය පිහිටුවීම න්‍යෂ්ටික තාක්ෂණය පිලිබඳ ඉගැන්වීමේ පශ්චාත් උපාධි හා උපාධි වැඩසටහන් ආරම්භ කිරීම.


1962 – අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ සහාය ඇතිව වෛද්‍ය, කෘෂිකාර්මික හා කාර්මික අංශවල න්‍යෂ්ටික තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සඳහා ජාතික ආයතන වෙත තාක්‍ෂණික හුවමාරු වැඩ සටහන් ආරම්භ කිරීම.

1969  – පරමාණුක බලශක්ති අධිකාරියක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව විසින් 1969 අංක 19 පරමාණුක බලශක්ති අධිකාරි පනත අනුමත කිරීම


1970  – පරමාණුක බලශක්ති අධිකාරිය පිහිටුවීම සහ මහාචාර්ය පී.පී.ජී.එල්. සිරිවර්ධන මහතා එහි පළමු සභාපතිවරයා ලෙස පත් කිරීම.


1975  – මෙරට තුල විකිරණ හා විකිරණශීලී සමස්ථානික භාවිතය නියාමනය කිරීම සඳහා පරමාණුක බලශක්ති රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ  ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ කලාපීය සහයෝගීතා ගිවිසුමේ සාමාජිකත්වය ලැබීම.

1979  – ආචාර්ය කේ. ග්‍රැන්විල්  ධර්වර්ධන මහතා  පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙසත් විකිරණශීලී සමස්ථානික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙසත් පත්කිරීම.


1983  – රෝග විනිශ්චය සේවා සැපයීම සඳහා කොළඹ ජාතික රෝහලේ න්‍යෂ්ටික රූපකරණ (Nuclear Imaging) ඒකකයක් පිහිටුවීම


1984  – IAEA හි සහාය ඇතිව විකිරණශීලී සමස්ථානික මධ්‍යස්ථානය න්‍යෂ්ටික විද්‍යාව පිළිබඳ පශ්චාත උපාධි (M.Sc) වැඩසටහනක් ආරම්භ කිරීම

1986  – රෝග විනිශ්චය සේවා සැපයීම සඳහා කොළඹ ජාතික රෝහලේ විකිරණශීලී ප්‍රතිශක්තිකරණ  විශ්ලේෂණ  විද්‍යාගාරය (Radioimmunoassay laboratory ) පිහිටුවීම


1989  – පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස ආචාර්ය ඩී.ඒ. නෙත්සිංහ මහතා පත් වීම


1990  – පරමාණුක බලශක්ති අධිකාරිය සඳහා තමන්ගේම රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමට තීරණය කිරීම සහ පරමාණුක බලශක්ති අධිකාරිය සඳහා ආයතනික සැලැස්මක් සකස් කිරීම. විකිරණ සේවකයින් සඳහා පුද්ගල අධීක්ෂණ සේවාවක් ආරම්භ කිරීම. විකිරණ ආරක්ෂණ වැඩසටහන ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා පියවර ගැනීම. පරමාණුක බලශක්ති අධිකාරිය විසින් නිර්විනාශක පරීක්ෂණ, විකිරණ ආරක්ෂණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම.


1992  – සංවර්ධන ලේකම්වරුන්ගේ කමිටුව විසින් පරමාණුක බලශක්ති අධිකාරිය සඳහා රසායනාගාර සහ පරිපාලන කාර්යාල පරිශ්‍රයක් ඉදිකිරීමේ යෝජනාවක් අනුමත කිරීම.


1993  – පරමාණුක බලශක්ති අධිකාරිය මගින්  නිර්විනාශක පරීක්ෂණ සේවා සැපයීම ආරම්භ කිරීම.


1994  – පරමාණුක බලශක්ති අධිකාරිය මගින්  නිර්විනාශක පරීක්ෂණ සේවා සැපයීම ආරම්භ කිරීම.


1995  – සිරිල් කාසිගේ මහතා විසින් Accuspec-A කාඩ්පතක් සහිත පළමු ගැමා වර්ණාවලීක්ෂි පද්ධතිය ස්ථාපිත කිරීම සහ පරමාණුක බලශක්ති අධිකාරිය ගැමා වර්ණාවලීක්ෂ විශ්ලේෂණ සේවා සැපයීම ආරම්භ කිරීම.

පරමාණුක බලශක්ති අධිකාරිය න්‍යෂ්ටික ඉලෙක්ට්‍රොනික උපකරණ නඩත්තු කිරීම හා ක්‍රමාංකනය කිරීම සඳහා සේවාවක් ආරම්භ කිරීම.

පරමාණුක බලශක්ති අධිකාරිය ගොඩනැගිලි ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීම.

1996  – විද්‍යාත්මක අංශ හතරක් සහ පරිපාලන අංශ දෙකක් පිහිටුවා පරමාණුක බලශක්ති අධිකාරිය හි නව ආයතනික ව්‍යුහයක් ඇති කිරීම. ශ්‍රී ලංකා අක්ෂි දාන  සමිතිය විසින් ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ සහාය මානව පටක බැංකුව පිහිටුවීම.


1997  – පරමාණුක බලශක්ති අධිකාරිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම

1999 අංක 1 දරන අයනීකරණ විකිරණ ආරක්ෂණ රෙගුලාසි ගැසට් කිරීම.


2000  – පරමාණුක බලශක්ති අධිකාරියෙහි මූලික ආරක්‍ෂණ ප්‍රමිතීන්ට අනුකූලව විකිරණ ආරක්ෂණ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම.

1999 අංක 1 දරන අයනීකරණ විකිරණ ආරක්ෂණ රෙගුලාසි ගැසට් කිරීම.


2001  – පරමාණුක බලශක්ති අධිකාරියෙහි  වාර්ෂික ආදායම රුපියල් මිලියන 6 දක්වා වැඩි කිරීම සහ කාර්ය මණ්ඩලය 70 දක්වා වැඩි කිරීම.

පරමාණුක බලශක්ති අධිකාරියේ ගොඩනැගිලි ව්‍යාපෘතිය නිම කිරීම සහ නව ගොඩනැගිල්ලේ රසායනාගාර පහසුකම් සහ පරිපාලන සංකීර්ණය ස්ථාපිත කිරීම.


2003  –

කොළඹ රිජ්වේ රෝහලේ න්‍යෂ්ටික රූපකරණ ඒකකයක් (Nuclear Imaging unit) පිහිටුවීම.

අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ කලාපීය සම්බන්ධීකාරක ලෙස මහාචාර්ය එම්. ප්‍රිනාත් ඩයස් මහතා පත් කිරීම සහ ඔහු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම. පරමාණුක බලශක්ති අධිකාරියේ  සභාපති ලෙස මහාචාර්ය ආර්. හේවාමාන්න මහත්මිය පත් කිරීම.

න්‍යෂ්ටික තාක්‍ෂණය උපයෝගී කරගනිමින් පශු සම්පත්, කුකුළු හා ජලජ ජීවීන්ගෙන් නිපදවන ආහාර නිෂ්පාදනවල රසායනික හා ඖෂධ අපද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ ඒකකයක් පිහිටුවීම.

නව ගොඩනැගිල්ලේ ගැමා ප්‍රවිකිරණ (gamma cell)  උපකරණය ස්ථාපනය කිරීම.

පරමාණුක බලශක්ති අධිකාරිය තුල ව්‍යාපාර සංවර්ධන ඒකකයක් පිහිටුවීම.

.


2005  – බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ පහසුකමක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අරමුදල් වෙන් කිරීම.

මහාචාර්ය ආර්. හේවාමාන්න මහත්මිය  සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම.

2006  – පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ලෙස  මහාචාර්ය බී.එම්.ඒ.  ඔස්වින් පෙරේරා මහතා පත්වීම.

පරමාණුක බලශක්ති අධිකාරියේ  න්‍යෂ්ටික විශ්ලේෂණ විද්‍යාගාරය, ආහාර හා පස් ගැමා වර්ණාවලීක්ෂ විශ්ලේෂණය සඳහා ජාතික ප්‍රතීතනය ලබා ගැනීම.


2007  – පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ලෙස  ආචාර්ය ඩබ්ලිව්. අබේවික්‍රම මහතා පත්වීම.


2009  – 

පරමාණුක බලශක්ති අධිකාරිය ද්විතීයික සම්මත විකිරණමිතික ක්‍රමාංකන විද්‍යාගාරයක් පිහිටු වීම.

විකිරණවලට නිරාවරණය වන අය සඳහා ජෛව විද්‍යාත්මක විකිරණමිතිය සඳහා සහ  පිළිකා ඇති පුද්ගලයින් හඳුනා ගැනීම පිළිබඳ රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.

විකිරණශීලී හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ ජාතික හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් 2009 දී ආරම්භ කිරීම.

TXRF තාක්ෂණය ස්ථාපිත කිරීම

 


2010  – විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ පරමාණුක බලශක්ති අධිකාරිය 2010 මැයි මාසයේදී ගරු පාඨලි චම්පික රණවක අමාත්‍යතුමා යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ස්ථාපිත කිරීම.

දශක දෙකකට පසු විදුලිබල උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයකට රජය පැමිණ ඇති අතර මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා මිනිස්බල පුහුණුව ආරම්භ කරන ලදී.

නිර්විනාශක පරීක්ෂණ සඳහා ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු අතර ඒ සඳහා ඉඩම් කැබැල්ලක් ලැබුණි


2011  – පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ලෙස  ආචාර්ය රන්ජිත් විජේවර්ධන මහතා පත්වීම.

2014 – බියගම අපනයන සැකසුම් කලාපයේ දිවයිනේ පළමු විවෘත ප්‍රවේශ ගැමා ප්‍රවිකිරණ මධ්‍යස්ථානය වන ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ (SLGC) මෙහෙයුම් ආරම්භ කිරීම.


2015  – කැලණියේ පිහිටවූ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ (NCNDT) මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම.

 

2015 – පරමාණුක බලශක්ති අධිකාරිය අවලංගු කර 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත මගින් “ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB)” සහ “ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (AERC)” යන ආයතන දෙක පිහිටුවීම.


2015  – ගරු පාඨලි චම්පික රණවක අමාත්‍යතුමා යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය 2015 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී.


2015  – පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ලෙස  ලක්ෂිත ජයවර්ධන මහතා පත්වීම.

2018 මාර්තු –  නව කැළණි පාලම් ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ  පැරණි ගොඩනැගිල්ල කඩා බිඳ දමා ඒ වෙනුවට ඉදිකළ නව ගොඩනැගිල්ල අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අධ්‍යක්ෂ ජනරාල් නැසීගිය යූකියෝ අමානෝ මහතා විසින් විවෘත කිරීම

2018 දෙසැම්බර් – ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ  සභාපති ලෙස  සම්පත් චන්ද්‍රසේන  මහතා පත්වීම

2019 ජනවාරි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ  සභාපති ලෙස  දීපාල් ගුණරත්න මහතා පත්වීම.

2020 ජනවාරි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ  සභාපති ලෙස  මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතා පත්වීම