ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය හා ජාතික විද්‍යා පදනම අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ සාකච්ඡා ඇරඹේ…

මෙරට කීර්තිමත් රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය හා ජාතික විද්‍යා පදනම අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා වන සාකච්ඡාවක් 2022 අප්‍රේල් මස 27 වනදින ජාතික විද්‍යා පදනමේදී පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය නියෝජනය කරමින්  ගරු සභාපති මහාචාර්ය S.R.D රෝසා මැතිතුමා, අධ්‍යක්ෂ ජෙනරාල් T.M.R තෙන්නකෝන් මහතා හා විද්‍යාත්මක අංශ වල අධ්‍යක්ෂක වරු සහභාගී වූ අතර ජාතික විද්‍යා පදනම නියෝජනය කරමින් ගරු සභාපති මහාචාර්ය රන්ජිත් සේනාරත්න මැතිතුමා, අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ මහත්මිය හා සියලු අංශ ප්‍රධාන මහත්ම මහත්මීන් සහභාගී විය.

ආයතන දෙකේ සහභාගීත්වයෙන් න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය රට තුල ප්‍රචලිත කිරීම, නව පර්යේෂණ අවස්ථාවන් ඇතිකරලීම, න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යෙදවීම් ප්‍රවර්ධනය, ආයතන දෙක සතු විද්‍යාත්මක සම්පත් වඩා පලදායී ලෙස භාවිතා කිරීම මෙන්ම ආයතන දෙකේ විද්‍යාත්මක නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම යන කටයුතු ඉදිරියේදී සිදු කිරීමට දෙපාර්ශවය එකඟ විය.

ජාතික විද්‍යා පදනමේ ඉහළ කළමනාකාරීත්වය නුදුරේදීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සතු විද්‍යාගාර , ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය හා නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට යෝජිත අතර ඉන් අනතුරුව කෙටි කාලීන හා දිගු කාලීන සහයෝගීතා ඉලක්ක සකස් කෙරෙනු ඇත.

රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වන අතර එමගින් වඩා කාර්යක්ෂම සේවාවක් ශ්‍රී ලාංකිකයන් හට ලබාදීමට හැකිවනු ඇත. ඉදිරියේදී මෙවැනි සහෝයෝගීතාවයන් අනෙකුත් ආයතන සමගද ඇති කර ගැනීම ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ අපේක්ෂාවයි.