Sri Lanka Atomic Energy Board

Sinhala (Sri Lanka)Tamil-Sri Lanka
Get sinhala unicode font  Get tamil unicode font
Sitemap
FAQ Contact Us

දෙස් විදෙස් විකිරණ සේවකයන් සුරකින අපගේ පුද්ගල විකිරණමිතික සේවාව


krishan

පුද්ගල විකිරණමිතික සේවාව යනු, කිසියම් පුද්ගලයකු වෘත්තීමය වශයෙන් අයනීකාරක විකිරණවලට නිරාවරණය වීම පිළිබඳව අධීක්ෂණය කිරීම, ඇගයීම, සුරැකීම හා විධිමත් ලෙස වාර්තා කිරීම සිදු කරන ක්‍රමවත්වූ ක්‍රියාවලියකින් සැදුම් ලත් විශේෂිත සේවයකි. විකිරණ සේවකයන් අයනීකරණ විකිරණවලට අනවශ්‍ය ලෙස නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීම අරමුණු කොටගත් පුද්ගල විකිරණමිතික තාක්ෂණය 80 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර මුලින්ම භාවිතා කරන ලද්දේ X කිරණ ඡායා පටල ක්‍රමවේදයයි.  1988 වසරේදී තාප සංදිප්තතා මාපක - Thermo-Luminescent Dosimeters (TLDs) ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කල අතර, 1999 අංක 01 දරණ අයනීකාරක විකිරණ ආරක්ෂණ රෙගුලාසි වලට අනුව මෙරට සෑම විකිරණ සේවකයෙකුම පුද්ගල විකිරණමිතික සේවාව ලබාගැනීම අනිවාර්යය කර ඇත.

 

2014 අංක 40 දරණ පරමාණුක බලශක්ති පනත මගින් පවරා ඇති බලතල ප්‍රකාරව, මේ වනවිට ශ්‍රී ලංකාව තුල පුද්ගල විකිරණමිතික සේවාව ලබා දෙන එකම හා නීත්‍යානුකූල ආයතනය වන්නේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයයි. එහි විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයේ ස්ථාපිත පුද්ගල විකිරණමිතික සේවා විද්‍යාගාරය මගින් මෙම සේවාව අඛණ්ඩ ව ලබා දීම සිදු කෙරේ. මෙම පුද්ගල විකිරණමිතික සේවා විද්‍යාගාරය ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ ISO/IEC 17025:2017 ප්‍රතීතන සහතිකය ලත් විද්‍යාගාරයක් වන අතරම, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් 2019 වසරේ පැවැත්වූ “වෘත්තීය විකිරණ ආරක්ෂණ ඇගැයීම් සේවාව (Occupational Radiation Protection Appraisal Service (ORPAS))” නම් ඇගයීම් සේවාවේ ද ගැයුමට පාත්‍ර වූ විද්‍යාගරයකි. මේ හා සමානව ම විකිරණ ආරක්ෂණ සේවා සපයන ලොව පුරා විසිරුණු විද්‍යාගාර සමඟ සිදුකෙරෙන අන්තර්-සංසන්දන (Inter Comparison) ක්‍රියාකාරකම් මගින් ද විශේෂයෙන් නිරවද්‍යතාවය පිළිබඳව සහතික ලත් විද්‍යාගාරයක් වන පුද්ගල විකිරණමිතික සේවා විද්‍යාගාරය මේ වන විට විවිධ වූ ආයතන 200 කට ආසන්න ප්‍රමාණයක, විකිරණ සේවකයින් 2000 ට ආසන්න සංඛ්‍යාවකට එම සේවාව අඛණ්ඩ ව සැපයීම සිදු කෙරේ. මෙම ආයතන අතර, දිවයින පුරා විසිරුණු රාජ්‍ය හා පෞද්ගලික රෝහල්, විශ්වවිද්‍යාල, විවිධ කාර්මික/කර්මාන්ත ආයතන හා කෘෂිකාර්මික ආයතන ද විදේශීය ආයතන ද වේ. එසේම පුද්ගල විකිරණමිතික සේවා විද්‍යාගාරය විසින් තම සේවාව ලබා ගන්නා විකිරණ සේවකයන් ගේ විකිරණමිතික දත්ත ඔවුන්ගේ ජීවිත කාලය පුරාම සුරක්ෂිත ව පවත්වා ගෙන යනු ලබයි.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පුද්ගල විකිරණමිතික සේවාව සාමාන්‍ය ජනයා අතර එතරම් ම ජනප්‍රිය නොවුන ද ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් අතර පැසසුම් සහගත ලෙස ජනප්‍රිය සේවාවකි. වාර්ෂික ව විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශය මගින් පවත්වන දැනුවත් කිරීමේ වැඩසටහන් හා පුහුණු වැඩසටහන් ආදිය මගින් ද, පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් නිකුත් කරන වාර්ෂික බලපත්‍ර සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස පුද්ගල විකිරණමිතික සේවාව දක්වා තිබීම හේතුවෙන් ද මෙම සේවාව විකිරණ ක්ෂේත්‍රයේ වැදගත් අංගයක් ලෙස ප්‍රචලිත ව පවතී. එසේම වර්තමානය වන විට මෙම පුද්ගල විකිරණමිතික සේවාව ශ්‍රී ලංකාවට පමණක් සිමා නොවී විදේශ රටවලට ද සේවාව ලබා දෙන සේවාවක් ලෙස වඩාත් පුළුල්ව ක්‍රියාත්මක වේ.

කෙසේ නමුත්, විකිරණ සේවකයන් ලෙස අප සියලු දෙනාම සිහි තබා ගත යුත්තේ නීතිමය රාමුවෙන් පමණක් නොව, අපගේ එදිනෙදා රාජකාරිවල දී අනවශ්‍ය ලෙස අයනීකරණ විකිරණයන්ට නිරාවරණය වීම අවම කරගත යුතු බවත් තමන්ට ලැබෙන විකිරණ ප්‍රමාණය විධිමත් ලෙස මැනීම සඳහා පුද්ගල විකිරණමිතික සේවාව නිවැරදි ව ලබා ගැනීම ඉතාමත් ම වැදගත් බවයි.

 


 

E Services

Educational Resource

E-Magazine