PET ස්කෑනරයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය…න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ තවත් එක් යෙදීමක්

වර්තමාන ලෝකය තුළ මරණ රාශියකට හේතුවක් වන පිළිකා රෝගී තත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමට PET/CT ස්කෑන් පරීක්ෂාව සිදු කරනු ලබයි.  PET හෙවත් පොසිට්‍රෝන විමෝචන පරිලෝකනය (Positron Emission Thermography) න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ දී භාවිත වන්නකි. මිට අමතරව SPECT (Single Positron Emission Computed Thermography) වැනි ස්කෑන් ක්‍රමද වර්තමානයේ යොදා ගනු ලබන අතර පිළිකා රෝග, මොළයේ ස්නායු ආබාධ, හදවත් රෝග විනිශ්චය ආදිය සඳහා බහුලව ලොව පුර භාවිත කරයි.

වෛද්‍ය විද්‍යාත්මක රෝග විනිශ්චයේ දී ශරීරයේ අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කිරීමට CT, MRI වැනි ස්කෑන් ක්‍රම භාවිතා  වේ. PET ස්කෑනර් වල විශේෂ වැදගත්කම  වන්නේ ඉන්ද්‍රියක ක්‍රියාකාරීත්වය නිරීක්ෂණයේදී CT, MRI මඟින් දක්නට නැති, ජෛව ක්‍රියාකාරීත්වය මත පදනම්වූ තොරතුරු රාශියක් ලබාගත හැකි වීමයි. මේ නිසාවෙන්  වෛද්‍යවරුන්ට මුල් අවස්ථාවේදීම රෝගයන් පුරෝකථනය කිරීමට හැකියාව ලැබේ.

PET ස්කෑන් සිදු කිරීමට පෙර ශරීරය තුළට විකිරණශීලි සමස්ථානිකයක් ඇතුළත් කරයි. මෙහිදී FDG (Fluoro Deoxy  Glucose) බහුලව  යොදා ගන්නා ඖෂධයක් වේ. FDG නිර්මාණය කරන්නේ ග්ලූකෝස් අණුවක දෙවැනි ස්ථානයේ ඔක්සිජන් පරමාණුව වෙනුවට ෆ්ලුවොරින් වල සමස්ථානිකයක් වන F18 පරමාණුවක් ආදේශ කිරීමෙන් වන අතර FDG රුධිරය ඔස්සේ දේහය පුරා පැතිරී යයි. FDG සාමාන්‍ය ග්ලූකෝස් මිශ්‍රණයක් වන අතර එහි FDG අඩංගු වන්නේ ඉතා සුලු වශයෙනි.

FDG වල තිබෙන F18 අස්ථායී සමස්ථානිකයකි. ඒ නිසා F18 ක්ෂය වී වඩාත් පහළ ශක්ති මට්ටමකට පත් වෙමින් පොසිට්‍රෝන නම් අංශුවක් බිහි කරයි. පොසිට්‍රෝන යනු, ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයට සමාන සහිත, නමුත් ධන ආරෝපිත ප්‍රති අංශුවකි. එය එය ඉලෙක්ට්‍රෝනයේ ප්‍රති ප්‍රදාර්ථය වේ. සාමාන්‍ය පදාර්ථයක් සහ ප්‍රති ප්‍රදාර්ථයක් එකිනෙක ගැටුණු වහාම ඒවා ශක්තිය මුදා හරිමින් සම්පූර්ණයෙන්ම විනාශ වී යයි. මෙය නිරුද්දවිම(Annihilation )ලෙස හඳුන්වයි. මෙලෙස F18 තුළින් නිපදවන පොසිට්‍රෝනයක්  ශරීරයේ සෛලයක ඇති සාමාන්‍ය ඉලෙක්ට්‍රෝනයක ගැටුණු වහාම නිරුද්ද වී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නේ, අංශක 180 කින් එකිනෙකට විරුද්ධ අතට විහිදෙන ගැමා කිරණ (Gamma Rays) දෙකක් බිහි වීමයි.

මෙසේ නිපදවෙන ගැමා කිරණ දේහය විනිවිද ඉන් පිටතට පැමිණේ. ඒවා අනාවරණය කර ගැනීම PET ස්කෑනරය මඟින් සිදු වේ. ස්කෑන් යන්ත්‍රය තුළට රෝගියා ඇතුළත් කළ පසු FDG එන්නත් කිරීම සිදු වේ. ඉන්පසු දේහයෙන් පිටතට එන ගැමා කිරණ කුටියේ බිත්ති වල ඇති උදිලුම් පළිඟු (Scintillation Crystals) මඟින් ඒවා විද්‍යුත් ස්පන්ද බවට පත් කරයි. මෙම විද්‍යුත් ස්පන්ද වලට අනූව දේහයේ අදාළ කොටසේ FDG ව්‍යාප්තියේ ත්‍රිමාණ රූපයක් පරිගණකය මඟින් නිර්මාණය කෙරේ. උදාහරණයක් ලෙස පිළිකා සෛල ගොනුවක් වේගයෙන් වර්ධනය වන නිසා අධික ශක්තියක් දේශයෙන් ලබාගනී. එනම් පිළිකා සෛල වැඩි ග්ලුකෝස් ප්‍රමාණයක් අවශෝෂණය කර ගනී. එම නිසා FDG ලබාදුන් පුද්ගලයකුගේ  පිළිකා සෛල ගොනුවක් ඇත්නම් ඉන් පිටවන ගැමා කිරණ ප්‍රමාණය නිරෝගී සෛල ගොනුවකට වඩා ඉහලය.

ඉහත දක්වා ඇති පරිදි මෙමඟින් වෛද්‍යවරයාට රෝග විනිශ්චය කිරීමට හැකියාව ඇත. මෙය රෝග විනිශ්චයට ඇති නිරවද්‍ය හා වේදනා රහිත ක්‍රමයකි. PET ස්කෑනර් සඳහා අවශ්‍ය FDG ඖෂධයේ මිල අධික බැවින් ශ්‍රී ලංකාව වැනි රටක රෝගීන්ට  PET ස්කෑන් පරීක්ෂා නිර්දේශ කරන්නේ  ඉතා අඩුවෙනි.

පවතින තත්වය හමුවේ බහුතරයක් ජනතාවට මෙම පහසුකම ලබාදීම උදෙසා, FDG ඖෂධය දේශීයව නිපදවීමට අවශ්‍ය සයික්ලොට්‍රෝන යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ අවධානයට යොමු වී ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් සහනදායි මිලකට මෙම ඖෂධය ලබා දිය හැකි වන අතර එමගින් විශාල රෝගීන් ප්‍රමාණයකට PET/CT ස්කෑන් පරීක්ෂාවන් සිදු කර ගත හැකි වනු ඇත. මෙතුළින් ජීවිත රැසක් රැක ගත හැකි වන අතර මෙකි ඖෂධය ආනයනය සඳහා වැයවන විශාල මුදල ඉතිරි කර ගනිමින්  රටේ සංවර්ධනයට ඍජු දායකත්වයක් ලබා දිය හැකි වේ.