ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වෙත අධ්‍යාපන චාරිකාවක්..

ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට අයත්  ත්‍රිකුණාමලයේ  නාවික හා සමුද්‍රීය විද්‍යා පීඨයේ   පුහුණුව ලබන නාවික නිලධාරීන් පිරිසක්  2023.04.26  වන දින ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ  අධ්‍යාපන  චාරිකාවක නිරත විය. එම  පීඨයේ තරුණ ශිෂ්‍ය නිලධාරීන් තිහක් (30) ද, උපදේශක නිලධාරීවරයෙකු ද  සහභාගී වූ  මෙම අධ්‍යාපන චාරිකාවෙහි ප්‍රධාන අරමුණ වූයේ නාවිකයන් ලෙස රාජකාරි කිරීමේදී න්‍යෂ්ටික සහ  විකිරණ තාක්ෂණයේ  යෙදීම් සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මඟින් ලබා දෙන සේවා පිළිබඳව ඔවුන්ගේ දැනුම හා අවබෝධය දියුණු කර ගැනීමය.

මෙහි දී, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි ඉතිහාසය, සපයනු ලබන සේවාවන්  මෙන්ම  න්‍යෂ්ටික සහ  විකිරණ තාක්ෂණයේ යෙදීම්වල න්‍යායාත්මක සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම් ඇතුලත් දේශනයක් වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිරාශා රත්නවීර මෙනවිය  විසින් සිදු කරන ලදී. තව ද රට වට බැඳි මහ සමුදුරු කලාපයේ ආරක්ෂාව තර කිරීමේදී ඉදිරිපෙළ ප්‍රතිචාර දක්වන්නන් ලෙස ශ්‍රී ලංකාවේ නාවික හමුදා නාවිකයන් ජාතික න්‍යෂ්ටික සුරක්ෂිතතාවය සමඟ කෙසේ අත්වැල් බැද ගත යුතුද යන්නත්  න්‍යෂ්ටික සහ හදිසි ආපදා තත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරයත පිලිබඳවත් වූ මුලික සංකල්ප පිළිබද සාකච්ජා විය. ඉන් අනතුරුව පුහුණු නිලධාරීන්ට මණ්ඩලයේ විද්‍යාගාර කිහිපයක නිරීක්ෂණය සදහා අවස්ථාව ලැබුණි.

න්‍යෂ්ටික තාක්ෂණයේ උන්නතිය උදෙසා කැපවී සිටින ශ්‍රී ලංකාවේ  තාක්ෂණික ආයතනය වන  ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි අධ්‍යාපන  චාරිකාවක නිරත වී විෂය දැනුම පුළුල් කර ගැනීමට ඔබත් අදහස් කරන්නේ නම්, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි අධ්‍යක්ෂක ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර  එම අවස්ථාව උදා කර ගත හැකිය.