තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුව…

තොරතුරු මාසයට සමගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් 2026 සැප්තැම්බර් 28 වන දින පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ විශ්‍රාමික කොමසාරිස් ජගත් ලියනාරච්චි මහතා විසින් ලබා දෙන ලදී.

මෙහිදී තොරතුරු දැනගැනීමේ අයිතිය, තොරතුරු ඉල්ලුම් කිරීමේ සහ ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය, මහජනතාවට තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාව මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල වගකීම් ඇතුළු වැදගත් කරුණු පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ කාර්ය මණ්ඩලය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුම හා අවබෝධය වර්ධනය කිරීමටත්, තොරතුරු කළමනාකරණයේදී විනිවිදභාවය, වගවීම සහ වගකීම තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමටත් අවස්ථාව සැලසිණි.

තොරතුරු සඳහා මහජන ප්‍රවේශය සහතික කිරීම, කාර්යක්ෂම තොරතුරු කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.